Thursday, October 13, 2011

*********** සුනඛ අභිමානය ************


පිච්ච මල් පැහැ වත මුවාවෙනි ජන සමාජෙට වින                             කටින්නේ
සොච්චමක්වත් නොමැති විළි බිය ,එවුන් කුමටද රෙදි                         අදින්නේ
කච්ච පිච්චියට‍ම ගියත් කිම ? ගතිය නෑරේ                                    තිරිසනුන්ගේ
වච්ච ගහගෙන වකුටු වී මා අනුන්ගේ අගු පිලෙ                                  ලගින්නේ

පින්න ගිනියම් අව්ව නොතකා කරන මෙහෙවර නිමාවක්                         නැත
බන්න ටික කාලයෙදි යුතුකම් කරමි , ලැබුණත් නැතත් බත්                        පත
දන්න තේරෙන උසස් මනසක් ඇතත් මිනිසුන් මෙන්                         අසික්කිත
කන්න දුන් අත හපා කෑවෙක් අපේ හත් හනුහරේ වත්                               නැත

අගේ අඩු ලංසුවට වැටුණත් මැඳුරු මෙන් පැල්පත්                                   පොඩී
වගේ තම බූදලය දිව රැ රක්න්නෙමි ,නොලදත්                                           පඩී
උගේ අඹුදරුවන් රකින්නට හොරෙන් කඩනා ගස්                                   ගෙඩී
මගේ වෛරක්කාරයෝ ,ජන සමාජයේ හොර                                      තක්කඩී

කෙනෙහිලිය අත්වැරැද්දක් වත් සිදු වුණෝතින් මගේ                        කරුමෙට
බණෙහි බුදු හිමි දෙසුව පිං පව් අමතකව දෙයි අනේ                            ගුටි බැට
මෙනෙහි වී කෑ ඉඳුල් කටහරි පලා ගිය මුත් සිතේ                                  දුක පිට
කෙළෙහි ගුණ මා දන්න හින්දයි නැවත නැවතත් එන්නේ                    එතැනට

අ‍ගේ සිට කණ කන එවුන් දැක උචිත වනසේ                                   අවස්ථාවට
ග‍ගේ පාවෙන දඩු කැබැල්ලෙන් තබා උපමා                                   අවිස්වාසෙට
අගේ ඇති පඩිවරු පුරාතන ලියූ සී පද රසස්                                             වාදෙට
මගේ නකුටෙන් පවා ආදුරුසයක් දී ඇත මිනිස්                                   ලෝකෙට

පියා වෙරි මරගාතේ ඇවිදින් කරයි සිය දියණියගේ                               විළිසුන්
එයා කාරම ගුරුවරුන් ඇත රාග ගින්නෙන් දැවෙන                              සිහිසුන්
සොයා ගන්නට ජන සමාජයේ තවත් තිබියදි මෙවැනි                            නිදසුන්
ගියා බල්ලට සදාචාරය ,ඇඟිල්ලක් දික් කරති                                       මිනිසුන්