Friday, September 16, 2011

මානාවුළු පුර වරුණ

Grab this
කේසධාතුක කසුබ් ගේ සොයුරා පරාජය කිරීමෙන් අනතුරු ව ඔහු සතුව තිබූ මහත් ධනස්කන්ධය ද රැගත් විජයබා මහ රජු තම්බල නම් ග‍්‍රාමයේ මහත් බළකොටුවක් තැනැවීය.
පුරා විද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් ගේ ’මහා සිංහලේ රාජවංශෙ’ පොතෙ හි ඒ බව සඳහන් වන්නේ තම්පලා ග‍්‍රාමයෙහි අලුත් දුර්ගයක් තැනැවූ බව යි.
මේ තැන් දෙකම එක ය. එනම් දොළොස් දහස් රටේ තරමක් කිට්ටුව ඇති දුර්ගයකි. එකල දොළොස් දහස් රට නමින් හැඳින් වී ඇත්තේ ගම් 12,000 ක් එක්ව සැදුණු මහා රාජධානියකි.
මේ මහා රාජධානියේ ප‍්‍රාදේශීය අගනුවර මහානාග කුල යනුවෙන් හැඳීන්විණි. අම්බලන්තොට සිට සැතැපුම් 9 ක් පමණ දුරින් වලවේ ගඟ අසල ‘රම්බා වෙහෙර’ ලෙස පසුකලෙක හඳුන්වන ස්ථානය ද මෙය ම බව නිශ්චිත ය.
විජයබා මහ රජු සොළීන් ජනනාථපුරයෙන් පලවා හැරීමට හොඳම සටන් උපාය මාර්ගය කි‍්‍රයාත්මක කළේ මෙහිදී ය. මෙතැන සිට තමා ගේ ප‍්‍රධාන ඇමැතිවරු දෙදෙනා බැගින් එක් මාර්ගයක ප‍්‍රධානව සිටින සේ සැලසුම් කොට ප‍්‍රධාන මාර්ග තුනකින් පොලොන්නරුවට ඇතුළුවීමට රජු කටයුතු කෙළේ ය.
විජයබා සටන් මාර්ග ගැන කීමට පෙර එම ඓතිහාසික රම්බා වෙහෙර හෙවත් මානාවුළුපුරය (මහානාගකුල) ගැන සවිස්තරාත්මකව කීම වැදගත් ය.
මේ ‘රම්බා’ වෙහෙර ගැන අප ඇසූ ජනකතාවක් තිබේ. වළගම්බා රජ සමයේ සුප‍්‍රසිද්ධ ‘බැමිණිටියා සාය’ නම් දුර්භික්ෂයේ දී තිස්සමහාරාමයේ සිට 12,000 ක් භික්ෂූන් හා සිතුල්පව්වෙන් 12,000 ක් භික්ෂූන් රහත් බවින් අහසින් වැඩි වේලාවෙදි දෙපිරිස එකට මුණගැසුණු සම්මුඛ වූ තැන සම්මුඛා, සම්බා, රම්බා ආදී වශයෙන් බිඳී රම්බා වෙහෙර වූ බව ඇතැමෙක් කියති.
රම්බා වෙහෙර යනු දොළොස් දහස් රටේ අගනුවරයි. මානාවුළුපුරය වන්නේ ද එයයි. කි‍්‍රස්තු වර්ෂාරම්භ කාලයේ පටන්ම ජනාවාසයකි. කි‍්‍රස්තු වර්ෂයෙන් 8-9 පොලොන්නරු අවදියේ වැදගත් පාලන මධ්‍යස්ථානයකි.
මහා විජයබාහු රජු කි‍්‍ර.ව. (1056 – 1114) මහත් සේනා සංවිධානය කළ පුරයයි. කීර්ති ශ‍්‍රී නිශ්ශංකමල්ල රජ (කි‍්‍ර.ව. 1187 – 1196) මෙහි සිටි බව ඔහුගේ සෙල් ලිපියකින් පෙනේ. මහා පරාක‍්‍රමබාහු රජු (කි‍්‍ර.ව.1153 – 1158) කුමාර කාලයේ මෙහි සිටියේ ය.
13 වැනි සියවසින් පසු මහා පිරිවෙණක් බවට පත් වූ රම්බා වෙහෙර දී මුල්ම පාලි සංදේශ කාව්‍ය වූ ‘මානාවුළු සංදේශය’ රචනා වීය.
රම්බා වෙහෙර

දැනට එහි විහාරවාසී ධීයගහ සාරානන්ද හිමියෝ එකල අක්කර 200 කින් සමන්විත භූමිභාගයක විසුරුණු දාගැබ්, ප‍්‍රතිමා ගෘහ, බෝධිඝර, ආරාම හා වෙනත් පෞරාණික නටබුන් අදත් මේ විහාරස්ථානය සතුව ඇතැයි පවසති. එමතුදු නොව එදා මෙහි ආරාම සංකීර්ණයක් තිබූ බව ද වදාරති.
රම්බා වෙහෙර ගැන අප කළ සමීක්ෂණයේ දී එහි පුරා විද්‍යා ස්ථාන භාර නිලධාරි රසික බණ්ඩාර මහතා මහත් මෙහෙයක් කෙළේය. ඉකුත් මසදි පවා රම්බා විහාරයේ දී 4 වැනි මහින්ද ගේ අත්තාහි අභිලේඛනයක් හමුවූ බව පැවැසූ ඒ මහතා ඒ පිළිබඳ මෙතෙක් කාටවත් නොලැබුණු මාහැඟි තොරතුරු වැලක් අපට දුන්නේ ය.
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ගිරුවා පත්තුවට අයත් භූමිභාගයක් වූ රම්බා විහාරයට බටහිර දෙසින් පිහිටියේ මාමඬල ඇළ ය. එය 1889 දී ඉංගිරිසි ජාතිකයන් විසින් පිළිසකර කරනු ලැබූවකි. එනමුත් එය පැරැණි රජ දරුවන් කළ ඇළ මාර්ගයක් බව පැහැදිලි ය. වලවේ ගඟ පිහිටා ඇත්තේ ඓතිහාසික රම්බා විහාරයට උතුරු දෙසිනි. ඉන් බටහිරට ගොඩවාය (ගොඨපබ්බත) මෝය පිහිටියේ ය. මෙකී සීමාවේ අභ්‍යන්තරයේ අතොරක් නැතිව ස්මාරක තැන්පත්ව තිබීම විශේෂයකි.
විල්හෙයිම් ගයිගර් පඩිතුමා මානාවුළුපුරය නැතහොත් මහානාග රාජධානිය හඳුනාගෙන ඇත්තේ “රෝහණයේ වළවේ ගං මෝය පිහිටි (රුහුණේ) දෙවන අගනුවර වූ මහානාග හුල පිහිටා තිබුණු අම්බලන්තොට ස්ථානය යනුවෙනි. විදේශීය චෝල ආක‍්‍රමණිකයනට විරුද්ධව රෝහණය මෙහෙයැ වූ දෙවැනි හෝ තෙවැනි මහා විමුක්ති ව්‍යාපාරයේ ජය බිම වූයේ ද මේ මහානාග පුරයයි.
පැරකුම්බා සිරිතේ මෙවැනි සඳහන් එයි.
පැරැණි නටඹුන්

සපිරි මානාවුළු පුරෙයි ඉඳ
පරපුරෙන් ආ පරසිඳූ
සොළින් වසඟව තුබූ රටගෙන
එසානූවක් අවුරුදූ

මුනි සසුන් රට වටා අමුතුම
මනුරජෙව් පිළිවෙළ සැදූ
එසිරි සඟබෝ විජයබා රජ
විසි පස් පනස වුරුදු

මානාවුළු පුර ඉඳු පරපුර හා මහා විජයබා රජුගේ බැඳියාව දෙඅයුරකින් මෙහි කියැවේ. පළමුවැන්නෙන් ඉඳු පරපුරෙන් – (චන්ද්‍ර වංශයෙන්) පැවත ආ විජයබා රජු මානාවුළු පුර විසීමය.
මෙහි එන දෙවැන්න නම් විජයබාහු රජතුමා පමණක් නොව බොහෝ රජවරු මෙහි විසූ බවයි. මහා විජයබාහු රජුගෙන් පසුව ඔහු පුත් වික‍්‍රමබාහු, ඔහු සොහොයුරු ජයබාහු, සොයුරිය මිත්තා, මහපැරකුම් රජු කුඩා කල හා ඔහුගේ මව රත්නාවලී බිසව මෙහි සිටි බව (පොල්වත්තේ බුද්ධදත්ත හිමි මහාවංස සංස්කරණය) පෙන්වා දෙයි.
මානාවුළු පුරය දොළොස්දහස් රටේ අගනුවර බවට පත්වූයේ - විජයබා රජු ගේ පුත් වික‍්‍රමබාහු යුව රජු ගෙන් පසුවය. 4 වැනි කාශ්‍යප කාලයට අයත් විය හැකි අභිලේඛනයක් ‘රම්බර චෙති’ නම් සඳහන අනුව රන් ආලේපිත ස්තූපයක් තිබූ හෙයින් ‘රම්බා’ යනුවෙන් භාවිතා වන්නට ඇතැයි ‘රුහුණු රට රාජධානි කෘතියේ කියයි.
මේ විහාරයට වෙනත් පරියාය වචන රැසක් ම යෙදුණු බැව් ද ඇත්තකි. රන්ඛා විහාරය, සම්බාහාර විහාරය, කදලි විහාරය යන්න ඉන් කිහිපයකි.
පාලි මුගලන් වියරණය නම් කෘතියට මුගලන් මාහිමියන් ගේම ශිෂ්‍ය වූ පියදස්සි හිමියන් විසින් ලියන ලද පද සාධනය මේ විහාරයේ බිහිවූ දෙවැනි කෘතිය ලෙස හඳුනාගත හැකිය.
රම්බා විහාරය පොලොන්නරු යුගයේ සිටම දේශීය විදේශීය අධ්‍යාපන ආයතනයක් ලෙස පැවැති බවට සාක්‍ෂ්‍ය තිබේ. 4 වැනි කාශප්‍ය ගේ අභිලේඛනයට අනුව ’දාධාරත්නි ඉසා’ දළදාව රක්‍ෂා කළ යුතුය යන යෙදුම සමග මෙහි දළදා වහන්සේ වැඩසිටි බවට ද තොරතුරු ඇත.
මානාභරණ, සිරි වල්ලභ, සුගලා මෙහි දළදාව පාත‍්‍රා ධාතුව මානවුළු පෙදෙසට රැගෙන ආ බවට තොරතුරු පැහැදිලිව අනාවරණය කැරගත හැකිය. වික‍්‍රම වීරසූරිය ඩී.ඊ. රුහුණු රට පුරාණ රාජධානිය පි. 69, 79 – 1928)
එසේම මේ විහාරයෙන් කි‍්‍ර.පූ. 3 වැනි සියවසේ සිට පැවැති වාස්තු විද්‍යාව, බෞද්ධ කලා ශිල්ප, ටෙරා කොටා ආදී අවශේෂ අංග පිළිබඳ ප‍්‍රත්‍යක්‍ෂ සාධක ස්පර්ෂ කිරීමේ දි පුරා විද්‍යාත්මක සාධක රැසක් අනාවරණය කැර ගත හැකිව තිබේ.
අලුතින් හමුවු අභිලේඛනය ගැන සවිස්තරව විග‍්‍රහ කිරීම වටින්නේ රම්බා විහාර ගැන ලියැවුණු කිසිම තැනෙක මේ ගැන නො ලියවුණු නිසා ය.
2008 ඔක්තෝබර 08 වැනිදා උදේ 10.45 ට පමණ රම්බා විහාර ස්මාරක භූමියේ දෙනික රාජකාරි කළ නඩත්තු නිලධාරි ලෙස්ලි කරුණාරත්න මහතාට පොළොව මතුපිට ස්මාරකයක් තුළ වැසී ගිය ශිලාමය ස්ථම්භයක් අහඹු ලෙස දක්නට ලැබිණ.
දර්ශනය වූයේ ස්වල්පයකි. අන් සියල්ල පසින් වැසී ගොසිනි. ඔහු තවදුරටත් විමසිලිමත් විය. රම්බා විහාරයේ අභිනව අන්තානි අභිලේඛනය හමු වූයේ එලෙස ය. මේ අභි ලේඛනයේ අග213 ජථ ය. පළල 17 ඛ්ර් ය. පාෂාණය ග‍්‍රැනයිඩ් වර්ගයට අයත්ය.
සිරිවත් අපරිය – ත් ගුණ මුළින් උතුරු - ත් අන් තුස් කුල පා යනුවෙන් අරඹා පැති තුනකින් කරුණු දක්වන මේ අන්තානි අභිලේඛනයේ සිංහලානුවාදය සපුරාම මෙසේ ය.

ශි‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එය මෙසේ පරිවර්තනය කරයි.
පළමුපැත්ත
ශි‍්‍රමත් අප‍්‍රමාණ ගුණයෙන් අනුන, ක්‍ෂති‍්‍රය වංශයට කොතක් බඳුවු ඔකාවස් රාජ පරම්පරාවෙන් පැවැත එන, එබඳු රාජ වංශයකට උරුමකම් කියන රදපුරු නම්, අගමෙහෙසිය වු රාජ්‍යය කරන, යොනක පරපුරෙන් සග්ගොන් බිසවගේ, කුස උපන් අබාසලමෙවන් රාජ්‍යයෙහි සදුවා ක්‍ෂති‍්‍රය වංශයට අයත් ස්වකීය ධෙර්යයෙන් ලංකාදීපය බබු ළුවමින් සිටි ඈපා මහින්ද රජතුමා ෂසින් මාගම කිරින්ද ඔයේ වම් කෙළවරෙහි පිහිටි අභයගරි නිකායට අයත් මඟුල් පිරිවෙනෙහි මංගල සූත‍්‍ර දේශනය, පවත්වනු පිණිස ගම් බිම් වලින් ලබා ගන්නා ලද බදු (ආදායම්) ගම්බදු බිඳිය.
දෙවැනි පැත්ත
මී ගවයන් එළ ගවයන් නොවද්දා ගත යුතුය. මෙහි වැඩ සිටිමි මාහිමියන්ගෙන් අවසර නොගෙන ඇතුළු නොවිය යුතුය. රාජ්‍ය නිලධාරින් මැදිහත්ව අවුල් නිරාකරණය කළ යුතුය. කුඹුරු කරන් විසින් අවුල් ඇති නොකළ යුතුය.
තෙවැනි පැත්ත
රාජ්‍ය නිලධාරින් විසින් සම්මතයන් නොබිඳ ආරක්‍ෂා කළ යුතුය. මෙම ආඥාව (සන්නස ටැම් ලේඛනය) රාජ්‍ය සභාවෙන් ආ නාවිනි තැනැත්තා විසින් ලේඛනය කොට දෙවීය.
මේ අභිලේඛනය හා එහි ඇති වෙනත් ස්මාරක ආදියෙන් හෙළිවන්නේ පැරැණි රජවරුන් ගේ මහත් අභිවින්දනයට පාත‍්‍රවූ භූමියක් වු රම්බා වෙහෙර තවත් බොහෝ අතීතයන් සඟවාගත් පින්බිමක් බවයි.
උපුටා ගැනීම-සිළුමිණ පුවත්පතින්



No comments:

Post a Comment